Wednesday, February 27, 2013

ශ‍්‍රී ලංකාවේ කාටුන් ඉතිහාසය


 කාලයේ දී කාටුන් නිර්මාණ තීරය දැක බලා ගැනීමට පාඨකයන් නොඉවසිල්ලෙන් බලා සිටියහ. කාටුන් මඟින් සමාජයට යම් පණිවුඩයක් සන්නිවේදනය වනවා සේම හාස්‍ය මුසු උපහාසයක් ඒ තුළ ගැබ් වී තිබීමද ඊට හේතුවයි.
”පුවත්පතක සම්පූර්ණ තීරුවකට වඩා වේගයෙන් හා මැනවින් අදහසක් චිත‍්‍රයක් ආකාරයෙන් මනසෙහි මවාපාන හෙයින් පුවත්පත් කාටුන් චිත‍්‍රය ප‍්‍රධාන කර්තෘ වාක්‍යයටද වඩා වැඳගත් තැනක් ගනී. ”
ශ‍්‍රී ලංකාවේ පළ වූ මුල්ම කාටූනය ලෙස සිංහල විශ්ව කෝෂයේ දක්වන්නේ ‘දිනමිණ’ පුවත්පතේ පළ වූ මුදලාලි’ නැමැති කාටුනයයි. 1931 දී ස්වදේශ මිත‍්‍රයා පුවත්පතට ජී.එස්. ප‍්‍රනාන්දු විසින් ඩොනමෝර් කොමිෂමේ යෝජනා විවේචනය කරමින් කාටුන් අඳින ලදි. ශ‍්‍රී ලංකාවේ දේශපාලන කාටූනය විධිමත්ව අරඹන ලද්දේ 1940 දී ය. ‘ද ටයිම්ස් ඔෆ් සිලෝන්’ පුවත්පතට ඔබි‍්‍ර කොලට් විසින් කාටුන නිර්මාණ කරන ලදි. දේශපාලන කාටුන් චිත‍්‍රයකින් යම් විවේචනයක් හෝ අදහසක් හෝ ඉදිරිපත් කළ හැකිය. දේශපාලන කාටුන් ශ‍්‍රී ලංකාවට ගෙන එන ලද්දේ ඉංග‍්‍රීසීන් විසිනි. ලංකාවට නිදහස ලැබීමත් සමඟ ඔබි‍්‍ර කොලට්, ජී.එස්. ප‍්‍රනාන්දු, අමිත අබේසේකර, විජේසෝම වැනි දේශපාලන කාටුන් ශිල්පීන් බිහි විය. මෙරට පළ වූ පළමු දේශපාලන කාටූනය වූයේ ස්වදේශ මිත‍්‍රයා පුවත්පතේ පළ වූ කාටුනයකි. එය ජී.එස් ප‍්‍රනාන්දු කාටුන් ශිල්පියා අතින් නිර්මාණය වූ කාටුනයකි.

ශ‍්‍රී ලංකාවට නිදහස ලැබීමෙන් පසු ඔබි‍්‍ර කොලට්, ජී.එස්. ප‍්‍රනාන්දු, අමිත අබේසේකර, ඩබ්.ආර්. විජේසෝම වැනි කාටුන් ශිල්පීන් බිහි වූහ. කාටුනය ඔස්සේ නිදහස්ව අදහස් ඉදිරිපත් කළ කාටුන් ශිල්පීන්ට විවිධ තර්ජනයන්ට මුහුණ දීමට සිදු විය. මෙය දැඩි ලෙස උපහාසයට ලක් කිරීමට කොලට් කාටූනයක් නිර්මාණය කරන ලදි. එහි දක්නට ලැබුණේ කටත් දෑතත් බැඳ දැමූ කාටුන් ශිල්පියෙකු කකුලෙන් චිත‍්‍ර අඳින ආකාරය නිරූපණ කළ කාටූනයකි.

කොලට් විසින් අඳින ලද කාටුනයක්


කොලට්ගේ කාටුන්හි බි‍්‍රතාන්‍ය ජාතික චිත‍්‍ර ශිල්පී සර් ඬේවිඞ් ලෝ ගේ චිත‍්‍ර තුළින් ලද පෝෂණය දක්නට ලැබුණි. කොලට්ගේ කාටුන් මැතිවරණ ව්‍යාපාර කටයුතු සඳහා දේශපාලන පක්ෂ යොදා ගෙන ඇත.  ඕස්ටේ‍්‍රලියාවේ හොඳම කාටුන් ශිල්පියා ලෙස "Walkey" සම්මානය දිනා ගැනීමට ද කොලට් සමත් විය. ලංකාවේ කාටුන් ශිල්පීන් මෙම කාටුන් මාධ්‍ය හරහා සමාජ විරෝධී ක‍්‍රියාවන්ට ප‍්‍රබල ලෙස පහර දෙන්නට යොදා ගන්නා ලදි. සර් ජෝන් කොතලාවල අගමැතිවරයාව සිටි සමයේ සත්ත්ව ගොවිපළක් නරඹන අවස්ථාවේ කළ ප‍්‍රකාශයක් ඇසුරු කොට ගෙන එවකට සිටි දක්ෂ කාටුන් ශිල්පියෙකු වූ ජී. එස්. ප‍්‍රනාන්දු විසින් කාටුනයක් නිර්මාණය කොට ඇත. අගමැතිවරයා ප‍්‍රකාශ කොට ඇත්තේ ‘තමන්ටත් එම ගොවිපළෙහි ගොනෙකු වීමට තිබුණා නම් ’ යනුවෙන් කළ ප‍්‍රකාශයකි. එම කාටුනය තුළ අගමැතිවරයා ගොනෙකු ලෙස ඇඳගෙන එළදෙනුන් පිරිවරාගෙන සිටිනු දක්නට ලැබුණි. ඇමතිවරයෙකු වූ ටී.බී. ඉලංගරත්න මහතා තමන් හාස්‍යයට ලක් කර අඳින ලද කාටුන් පිළිබඳව ජී. එස්. ප‍්‍රනාන්දු කාටුන් ශිල්පියා හට කවියක් ලියා යවන ලදි.

‘‘මට ගහන ගැසුමෙන්
ඔබට සැපතක් වේ නම්
තව තවත් ගහමින්
සැපත ළං කර ගන්න යහමින්’’

ඉලංගරත්න මහතා ඇමති අසුන දිනාගත් පසු ඊට සුභ පතමින් තමන් වෙත එවා තිබූ කවියට පිළිතුරු කවියක් ජී. එස්. ප‍්‍රනාන්දු විසින් යවන ලදි.

‘‘ඔබ දිනුම ලද තැන
පවතී මිනිස් යහ ගුණ
ආදරය පිළිගෙන
බැනුම් අසමින් සිනාසෙනු මැන’’

මහජන මතයට ගරු කරමින් පාලක පක්ෂය විවේචනය කිරීම ජී.එස් ගේ කාටුන් හි අරමුණ විය. මෙම අරමුණ ඉටු කර ගැනීම සඳහා ඔහු කාටුන් චරිතයක් නිර්මාණය කර ගන්නා ලදි. ‘අප්පුහාමි’ නම් වූ එම චරිතය පාඨක ප‍්‍රසාදය ඉහළින් ලබා ගැනීමට සමත් විය. ජී. එස් ගේ කාටුන් තුළින් වඩාත් පහර කෑමට ලක් වූයේ සර් ජෝන් කොතලාවල, කොල්වින් ආර් ද සිල්වා,ටී.බී. ඉලංරත්න ,චෙල්වනායගම්, අයි.එම්.ආර්.ඒ. ඊරියගොල්ල යන දේශපාලනඥයින්ය.

ඊරියගොල්ල , ජී.එස් පිළිබඳව ඉදිරිපත් කළ අදහස වූයේ ‘‘අප කැමති වුවත් අකමැති වුවත් හැම උදෑසනකම ජී.එස්. අප හිනස්වයි. කොතරම් හොඳ වැඩ කළත් අනුන්ගෙන් නරකක්ම ඇසීමට සිදු වන මේ කාලයේ අනුන්ට සිනාසී ඔවුන්ගෙන් බුහුමන් ලැබිය හැකි නම් එය වාසනාවකි.’’ යනුවෙනි.

1950 පමණ වන විට විජේසෝමයන්ද මෙරට පුවත්පත් කලාවට එක් වූ දක්ෂ කාටුන් ශිල්පියෙකු විය. ඔහු විසින් නිර්මාණය කරන ලද පුංචි සිංඤ්ඤෝ නම් චරිතය තවමත් ජීවමානය. මෙම චරිතය හරහා ඔහු පොදු ජනතාව නියෝජනය කළේය. මුල දී සම්පූර්ණ ජාතික ඇඳුමින් සැරසී සිටි පුංචි සිංඤ්ඤෝ සමාජ ක‍්‍රමයේ වෙනස් වීම හා දේශපාලන ක‍්‍රමයේ පැවැති පීඩිත බව නිසා උපන් ආර්ථිකයෙන් බැට කෑ පුද්ගලයෙකු බවට පත් විය. පසුකාලීනව ඔහු ඉරුණු ඇඳුමෙන් සැරසුණු ශරීරයෙන් වැහැරී ගිය පුද්ගලයෙකු බවට පත් විය. ඔහුගේ අත රැඳි පන් මල්ල ආර්ථික අරගලයේ සංකේතයක් බවට පත් විය. ‘දේශපාලන කාටුන් ශිල්පියාගේ පරම යුතුකම තම රටේ දියුණුව ඉලක්ක කර සිය කාටුන් නිර්මාණය කිරීමයි. එසේ නොකිරීම රටට කරන අපරාධයකි.’ යනුවෙන් කාටුන් ශිල්පී විජේසෝමයන් ප‍්‍රකාශ කරයි.



ශ‍්‍රී ලංකාවේ පුවත්පත් කාටුන් මාධ්‍යය පෝෂණය කරන ලද කාටුන් ශිල්පීන් ගණනාවක්ම හඳුනාගත හැකි වේ. ඔබි‍්‍ර කොලට්ගේ ‘සිටිසන් පෙරේරා’, මාර්ක් ගරයින්ගේ ’සිම්පල් සිමියොන්’, විජේසෝමයන්ගේ ‘පුංචි සිංඤ්ඤෝ’, එස්. සී.  ඕපාතගේ ‘සිල්වා’, කැමිලස් පෙරේරාගේ ‘ගජමෑන්’, විනී හෙට්ටිගොඩගේ ‘මාර පුත‍්‍ර’, අමිත අබේසේකරගේ ‘රාළහාමි’, තරස්වින්ගේ ‘බෙම්පි’, දාස හපුවලානගේ ‘සුවාරිස්’, පොදු ජනතාව නියෝජනය කිරීමට කාටුන් ශිල්පීන් නිර්මාණය කරගන්නා ලද නියෝජිත චරිතයන්ය. ගජමෑන්, සිරිබිරිස්, සිමෝනා, මගෝඩිතුමා, ලපයා, මොරායා, ගොඞ්ඩිං අයියා, වැනි චරිතයන් බිහි කළ කැමිලස් පෙරේරා එදා පටන් අද දක්වාම පුවත්පත් තුළ කාටුන් මාධ්‍යය හරහා පොදු ජනතාව වෙනුවෙන් තම මෙහෙවර ඉටු කරමින් රැඳී සිටී.

මිනිසුන් සිනහා ගැන්වීම ඉතා අපහසු කටයුත්තකි. කාටුන් ශිල්පීන් විසින් සිදු කරනු ලබන්නේ එවැනි අපහසු බැරෑරුම් කාර්යයකි. කැමිලස් පෙරේරා තමාගේ නිර්මාණ තුළින් පෙන්නුම් කොට ඇත්තේ එම හැකියාවයි. ලංකාවේ කාටුන් ශිල්පීන් අතර මධ්‍යස්ථ කාටුන් ශිල්පියෙකු ලෙස මොහු හැඳින්විය හැකිය. උපහාසයට ලක් කළ යුතු තැන සැබෑ ලෙස උපහාසයට ලක් කොට ඇත. ප‍්‍රශංසා කළ යුතු තැන ප‍්‍රශංසා කොට ඇත. කැමිලස් පෙරේරා නම් කාටුන් ශිල්පියා විසින් ජීවය දෙන විශාල කාටුන් චරිත සංඛ්‍යාවක් ඇත.

                                            


කාටුන් ශිල්පියා එක් එක් යුගයන්හි දේශපාලන වෙනස් වීම් පිළිබඳව තම කාටුන් මාධ්‍ය ඔස්සේ නිරූපණය කර ඇත. ‘‘දේශපාලන කාටුන් චිත‍්‍ර ශිල්පීන් කළ යුත්තේ දේශපාලනඥයින් සතුටු කිරීම නොවේ. දේශපාලනඥයින්ගේ තිබූ අඬු ලූහුඬුකම් පෙන්වමින් ජනතාවට සේවය කිරීමට නම් කාටුන් ශිල්පියා මහජනයාගේ පැත්තෙන් බැලිය යුතුය.’’ යනුවෙන් ඇස්.සී.  ඕපාත කාටුන් ශිල්පියා පවසයි.

සමාජයේ පංති භේදයකින් වයස් භේදයකින් තොරව රසවිඳිය හැකි මාධ්‍යයක් ලෙස කාටුන් මාධ්‍ය පෙන්වා දිය හැකිය. වචන වලින් ප‍්‍රකාශ කළ නොහැකි බොහෝ දේ කාටුන් මඟින් ප‍්‍රකාශ කළ හැකි වේ. කාටුන් මඟින් ඉදිරිපත් කරන්නේ හුදු හාස්‍ය ලබා දීම නොව කාටුනයක් සමාජීය, ආර්ථික, සංස්කෘතික සාධක ඔස්සේ සමාජයේ පෙනෙන නොපෙනෙන විවිධ වූ දිශානතීන් කෙරෙහි පුද්ගල පරිකල්පන ශක්තිය මෙහෙයවනු ලබයි. කාටුනය සමාජයේ කැඩපතක් සේ සමාජයේ විවිධාකාර වූ සමාජ අවස්ථා නිරූපණයට යොදා ගනී. ශ‍්‍රී ලංකාව තුළ පැවැති තිස් අවුරුදු යුද්ධයේ කුරිරු බව කාටුන් මාධ්‍ය ඔස්සේ මනාව සන්නිවේදනය කළ ආකාරය දැක ගත හැකි විය.

ශ‍්‍රී ලංකාවේ පුවත්පත් කලාව තුළ වර්තමානය වන විට බොහෝ කාටුන් ශිල්පීන් තම මාධ්‍ය හරහා පාඨකයාට තම සමාජ මෙහෙවර ඉටු කරමින් සිටී. අතීතයේදී ඔබි‍්‍ර කොලට්ගේ කාටුනයේ සිට වර්තමානයේදී මෙරට කාටුන් කලාව දියුණු මට්ටමකට නව මානයන් දක්වා පැමිණ ඇති බව දක්නට ලැබේ. දාස හපුවලාන, අංජන ඉන්ද්‍රජිත්, කැමිලස් පෙරේරා, ශාන්ත කේ. හේරත්, රුවන් තරස්වින්, ප‍්‍රීති කන්නන්ගර, පියල් උදය සමරවීර වැනි කාටුන් ශිල්පීන් වර්තමානය වන විට කාටුන් මාධ්‍ය හරහා සමාජ සංසිද්ධීන් නිරූපණය කරනු ලැබේ.

ශ‍්‍රී ලංකාවේ පුවත්පත් කාටුන් කලාව නිර්මාණශීලී බව මෙන්ම පණිවුඩය සාර්ථක ලෙස පාඨකයා වෙත සන්නිවේදනය කරන බවක් දැක ගත හැකි වේ. සංකේත භාවිතය, වචන භාවිතය මෙන්ම දේශීය අනන්‍යතාවය ශ‍්‍රී ලාංකික කාටුන් ශිල්පීන්ගේ කාටුන් තුළ අන්තර්ගත වූ ලක්ෂණයන්ය. උපහාසය මෙන්ම ශ‍්‍රී ලාංකේය කාටුන් ශිල්පයේ නොමැකෙන ලකුණු සනිටුහන් කිරීමට සමත් වූ කාටුන් ශිල්පීන් රැුසක් පුවත්පත් ක්ෂේත‍්‍රය තුළින් බිහි වී ඇත.

පුවත්පතක කාටුන් චිත‍්‍ර කිහිප ආකාරයකින් දැකිය හැකි වුවද මෙරට වඩාත් ජනප‍්‍රිය වී ඇත්තේ දේශපාලන කාටුනයයි. වර්තමානය වන විට මෙරට කාටුන් මාධ්‍යය දේශපාලනය හා සමීප සම්බන්ධතාවයක් ගොඩනැඟී ඇති බවක් දක්නට ලැබේ. අන්තර්ජාතික වශයෙන් සලකා බලන විට කාටුනය මිනිසුන්ගේ දැනුම වර්ධනයට, රසඥතාව වැඩි දියුණු කිරීමට භාවිතා කරනු ලැබේ.

වෙනත් විශේෂාංගයන් තුළින් නොකියවෙන අදහස් වඩාත් ප‍්‍රබල ලෙස ඉස්මතු කර ගැනීමේ හැකියාව කාටුන් මාධ්‍යයට පවතී. එහිදී කාටුන් ශිල්පියාගේ රේඛා භාවිතය වැඳගත් වන අතර වඩාත් ප‍්‍රබල වන්නේ සංකේත භාවිතයයි. දේශපාලන ක‍්‍රියාවලීන් සහ සමකාලීන සමාජයෙන් අත් විඳින්නට සිදු වූ ක‍්‍රියාකාරකම් සහ දේශපාලන නායකයින්ගේ සුවිශේෂීතා හඳුනාගත් කාටුන් ශිල්පීන් ඔවුන් හාස්‍යයට ලක් කරන ලදි.

ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතා කාටුන් මාධ්‍යය තුළින් විනිවිද දකින ලද ඔබි‍්‍ර කොලට් නම් කාටුන් ශිල්පියා මෙරට කාටුන් කලාව වර්ධනයෙහිලා මහඟු සේවාවක් කළ අයෙකි. ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා කාටුනයට නැඟූ අවස්ථාවේ එතුමා කළ ප‍්‍රකාශයකින් ඔබි‍්‍ර කොලට් ශිල්පියාගේ කාටුන් හැකියාව මනා ලෙස විසඳ වේ.

‘‘කොලට් තමුසෙ ඩඞ්ලිව අඳිනකොට ගිරා හොට නහයයි පයිප්පෙයි දානවා. බණ්ඩව අඳිනකොට ජාතික ඇඳුමයි පයිප්පෙයි කණ්ණාඩි කුට්ටමයි දානවා. මාව අඳිනකොට මහ විශාල නහයක් දානවා.........’’

1962 දී මායාදුන්නේ නම් කාටුන් ශීල්පියා අඳි අප්පුහාමි නම් දෙබස් නොමැති නිහඬ දිගු කාටුනයත්, 1964 දී බන්දුල හරිස්චන්ද්‍රයන් ඇඳි නිහඬ දිගු කාටුනයත් සාමාන්‍ය පොදු ජනතාවගේ සමාජ පසුබිම සහ ගති පැවතුම් පෙන්වා දෙන කාටුන් විය. 1964 දී ගිබ්සන් නම් කාටුන් ශිල්පියෙකු විසින් දිනමිණ පුවත්පතට තනි තීරුවේ පොකට් කාටුන් ඇඳ තිබේ. 1960 මුල් කාලයේදී ‘මොකෝ’ නමින් දෙබස් කාටුනයක් පළ වී ඇත.

දේශපාලන වශයෙන් සාමාජීය වශයෙන් හෝ රටේ කවුරුන් හෝ කරන වරදක් අසාධාරණයක් හෝ අයුක්තියක් ජනතාවට හෙළිදරව් කරනුයේ කාටුන් චිත‍්‍රය මඟිනි. ලාංකීය කාටුන් ඉතිහාසයේ කාටුන් චරිත බවට පත් වූ ‘අප්පුහාමි’, ‘රාළහාමි’ වැනි චරිත පුවත්පත් වල නිරූපණය වූයේ මීට දශක කිහිපයකට පෙර වුවද අදටද එහි අන්තර්ගත වූ සමාජ යථාර්ථයන් රැකී ඇත. වර්තමානයේ දී ද පුංචි සිංඤ්ඤෝ, අප්පුහාමිලා, සමාජයේ ජීවත් වන්නේ එදා කාටුන් ශිල්පීන් තම කාටුන් චරිත හරහා පෙන්වා දුන් සමාජ ප‍්‍රශ්න වර්තමානයටද අදාල වන බව සනාථ කරමිනි.

‘‘සිනහවක් නොනඟින කාටුනයක් යනු වැරදියට අඳින ලද චිත‍්‍රයක් පමණි.’’ යනුවෙන් කාටුන් ශිල්පී තිස්ස හේවාවිස්සයන් පවසන්නේ කාටුන් චිත‍්‍රයේ පවතින ප‍්‍රබලතාවය නිසාවෙන් විය යුතුය.

1992 ඇත්ත පුවත්පතේ පළ වූ කාටූනයක්


යුනුස් නම් කාටුන් ශිල්පියා පේ‍්‍රමදාස ජනාධිපතිවරයාගේ පාලන සමය තුළ ඔහු විවේචනය කරමින් කාටුන් ඇඳ තිබේ. එක් කාටුනයක දක්නට ලැබුණේ පේ‍්‍රමදාස ජනාධිපතිවරයා අතෙහි මල් වට්ටියක්ද අනෙක් අතෙහි ටයරයක් සහිතව සිටින කාටුනයකි. එය එකල පැවති දේශපාලන සමාජ යථාර්ථය පිළිබිඹු කරන්නක් විය.
                       
කාටුන් චිත‍්‍ර ජනප‍්‍රිය සංස්කෘතියේ අංගයක් බවට වර්තමානය වන විට පත් වී ඇත. සියුම්ව යම් පුද්ගලයකු උපහාසයට ලක් කිරීමට මෙන්ම කුළුගෙඩි පහරක් දෙන ආකාරයෙන් පහර දීමට කාටුන් ශිල්පියෙකුට හැකියාව ඇත. බොහෝ විට කාටුන් ශිල්පියාගේ මතවාදය පුවත්පත් ආයතනයේ මතවාදය මත තීරණය වන්නකි. විවිධාකාර වූ කාටුන් අතරින් වර්තමානය වන විට වඩාත් ජනපි‍්‍රයව ඇත්තේ දේශපාලන සිද්ධීන් පදනම් කොට ගෙන නිර්මාණය කරනු ලැබූ කාටුන්ය. බොහෝ විට කාටුන් ශිල්පීන් කාටූනය තුළින් ප‍්‍රකාශ කර සිටින්නේ ජනතාවගේ ජීවන පැතිකඩයි. කාටුන් ශිල්පීන් තුළ ඇති ජනතාවාදී දෘෂ්ටිය නිසා ඔවුන් ජනතාව මුහුණ දෙන ප‍්‍රශ්න ජනතාව තුළින්ම දැක ගනිති. වර්තමානය වන විට සෑම පුවත්පතකම පාහේ එහි අන්තර්ගත කාටුන් තීරය යම් දේශපාලන අරමුණකට නිර්මාණය වූ බව පෙනේ. ලංකාවේ පවතින  දේශපාලන ක‍්‍රමය හාස්‍යයට ලක් කොට හෝ දේශපාලන චරිතයන්ගේ අඩු පාඩු දුර්වලතා උපහාසයට ලක් කිරීමක් කාටුන් තුළින් දැක ගත හැකි වේ.

1950 පමණ වන විට කාටුන් චිත‍්‍ර කලාව ප‍්‍රබල ලෙස ශ්‍රී ලංකාවේ පුවත්පත් කලාව තුළට එකතු විය. වර්තමානය වන විට ඇතැම් කාටුන් ශිල්පීන් තමන්ගේ පුද්ගලික දේශපාලන මතයට වඩා පුවත්පත් ආයතනයේ මතය නියෝජනය කරන බව දැකගත හැකි වේ. දක්ෂ කාටුන් ශිල්පියා සමාජ විවේචනයත් සමඟ ගැඹුරු අදහසක් පාඨකයා වෙත සමීප කරනු ලැබේ.









0 comments:

:a: :b: :c: :d: :e: :f: :g: :h: :i: :j: :k: :l: :m: :n:

Post a Comment