Thursday, February 28, 2013

රුවන් තරස්වින්



ආනන්ද විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ රුවන් තරස්වින් මහතා පාසල් සමයේදීම කාටුන් කලාවට දක්‍ෂතා දැක්වූවෙකි. ආනන්ද විද්‍යාලය හා නාලන්ද විද්‍යාලය එකතුව නිර්මාණය කරන ලද කි‍්‍රකට් සඟරාවට මුලින්ම තම කාටුන නිර්මාණය කිරීමට තරස්වින් මහතාට හැකිවිය. පොකට් කාටුන් කලාවට පිවිසීමට පාසල් සමයේදීම කි‍්‍රකට් සඟරාව හරහා ඔහුට හැකිවිය. ”සතුට” පුවත්පතට චිත‍්‍ර කතා නිර්මාණය කිරීමද රුවන් තරස්වින් මහතා අතින් සිදුවිය.

සිළුමිණ, සරසවිය, නව යුගය, තිනකරන් වාර මංජරීන්, සැට්මැක් (sat mag)  සහ තරුණි වැනි සඟරා සහ පුවත්පත් සඳහා මුල් කාලයේදී පොකට් කාටුන් නිර්මාණය කළ ඔහු එහිදී එදිනෙදා ජන ජීවිතයේ උපහාසාත්මකව කාටුනයට නඟන ලදී. එහිදී දේශපාලනය එ් සඳහා යොදා නොගැනීම දක්නට ලැබුණි. 1980 මුල් කාලයේදී සරසවිය පුවත්පත්ට පිටු භාගයක් පමණ වන සේ සාමාජ කාටුන් අඳින ලදී. 1981දී තරස්වින් මහතා ”ඬේලි නිවුස්” (Daily News) පුවත්පතට ලෝක දේශපාලනය පිළිබඳව කාටුන් නිර්මාණය කරන ලදී. ඔහුගේ දේශපාලන කාටුන් කලාවට පිවිසීම දැකගත හැකි වන්නේ ඉන් අනතුරුවය. ප‍්‍රධාන වශයෙන් කාටුන් කලාවට පැමිණීම සිදුවන්නේ මෙම පුවත්පතට සම්බන්ධ වීමත් සමඟය.

වර්තමානය වන විට ලේක් හවුස් ආයතනය හා සම්බන්ධව දිනමිණ පුවත්පතේ ප‍්‍රධාන කාටුන් ශිල්පියා වශයෙන් කටයුතු කරනු ලැබේ. තරස්වින් මහතා පවසන ආකාරයට ලෝක කාටුන් ශිල්පීන් නිර්මාණය කරගත් කාටුන් සංකේත දක්නට ලැබේ. ඇමෙරිකාව සංකේතවත් කිරීම සඳහා ‘අන්කල් සෑම්’ ද, ජපානය ‘ටාරෝ සෑන් ’ ගෙන්ද, සාමය ‘පරෙවියා සහ ඔලිව් අත්ත’ තුළින්ද සංකේතවත් කරනු ලබන බවයි.

තරස්වින් කාටුන් ශිල්පියා නිර්මාණය කළ ප‍්‍රධාන කාටුන් චරිත දෙකකි. එක චරිතයක් බෙම්පියා වන අතර, අනෙක චාලිගේ චරිතයයි. බෙම්පියා කුඩා ළමයෙක් වන අතර, චාලි වයසින් පරිණත පුද්ගලයෙකි. මෙම චරිත හරහා ඔහු සාමාන්‍ය ජනතාව නියෝජනය කරනු ලැබේ. බෙම්පියා සහ චාලි යන කාටුන් චරිත නිර්මාණය කිරීමට ඔහු සේවය කරනු ලබන ලේක් හවුස් ආයතනයේ සේවය කළ චරිත දෙකක් හේතු වූ බව ඔහු පවසයි. ඔවුන්ගේ හැසිරීම්, කි‍්‍රයාකලාපයන් පදනම් ඊට පදනම් වී ඇත. මෙම කාටුන් චරිත හරහා යමක් සන්නිවේදනය කිරීමට පහසුවක් වේ. යම් දේශපාලන සිදුවීමක් සෘජුව කාටුනය තුළින් ප‍්‍රකාශ කිරීමට නොහැකි අවස්ථාවන්වලදී මෙම කාටුන් චරිත ලවා අදාළ පණිවුඩය පාඨකයා වෙතට සන්නිවේදනය කිරීමට හැකිවේ.

වර්තමානය වන විට වැඩි වශයෙන් කතා බහට ලක් වන්නේ දේශපාලන කාටුන් පිළිබඳව බව තරස්වින් මහතාගේ අදහසයි. කාටුනයේ අන්තර්ගතය දේශපාලන සිදුවීම් අනුව වෙනස් වේ. එදිනෙදා දේශපාලන කරළියේ සිදුවන සිද්ධීන් දේශපාලන කාටුනය සඳහා තේමාව බවට පත්වේ. සරල තේමා බීජයක් තුළින් ගැඹුරු සංකල්පනාවක් මැවීම තරස්වින් කාටුන් ශිල්පියාගේ පරමාර්ථයයි.

‘සැබෑ කාටුන් කලාව යනු කිසිම කෙනෙක් හට අපහාස නොකර  ඕනෑම දෙයක් දෙස උපහාසාත්මකව බැලීමයි.’ යනුවෙන් පවසන තරස්වින් මහතා එම කාටුන් නිර්මාණ ස්වාධීනත්වය රැකෙන නිර්මාණයක්ද විය යුතු බව පවසයි. විවිධ තේමාවන් යටතේ කාටුන් නිර්මාණය කරන ඔහු යම්කිසි සිදුවීමක් තුළින් මවාගත් ආකෘතිය අවසානයේ ඔහුගේ තෙ තෙලි තුඩින් මතුවේ. එය එදිනෙදා ජීවිතයේ  සිදුවීමක් මෙන්ම පුද්ගල චර්යාවන් සමඟින් සංකලනය වූ කාටුනයකි.

අලූත් ශෛලියකට රේඛා භාවිතා කරමින් කාටුන් නිර්මාණය කරන තරස්විනයන්ගේ  චිත‍්‍ර සජිවීය. ඔහු රේඛා භාවිතා කරන ආකාරය අනුව රේඛාවට නිදහසක් ලැබී ඇත. එදිනෙදා සිදුවීම් හැලහැප්පීම් තුළින් සමාජයේ ගලායාම සාර්ථකව නිරූපණය කරනු ලබන මෙරට කාටුන් ශිල්පීන් කිහිපදෙනා අතරින් තරස්වින් කාටුන් ශිල්පියාට හිමිවන්නේ සුවිශේෂි ස්ථානයකි.

මොහුගේ කාටුන් තුළ බල්ලෙකුගේ රූපයක් දක්නට ලැබේ. බෙම්පියාගේ යහළුවා ලෙස සිටින මෙම බල්ලා හරහා විටෙක සමහර දේශපාලන සිද්ධීන් පිළිබඳව හාස්‍ය හා උපහාසය මතු කර දක්වයි. පුවත්පතේ මතය බොහෝවිට පුවත්පතේ කාටුනය තුළින් නියෝජනය වන අතර එය සෑම රටකම පාහේ පොදු වූවක් බව රුවන් තරස්වින්ගේ අදහසයි. 1995 වර්ෂයේ පමණ සිට මේ දක්වා දීර්ඝ කාලයක් දිනමිණ පුවත්පතට තරස්වින් ශිල්පියා අතින් කාටුන් නිර්මාණය වේ. 80 දශකයේ සිට වර්තමානය දක්වා ඔහුගෙන් කාටුන් ක්‍ෂේත‍්‍රයට සිදුවන මෙහෙවර අති විශාලය.

පාසල් සමයේදීම ලේක්හවුස් ආයතනයට සම්බන්ධ වූ රුවන් තරස්වින් කාටුන් ශිල්පියාගේ කාටුන් හි ඔහුටම ආවේණික වූ ශෛලියක් දැකගත හැකිවිය. ඔහුගේ කාටුන් ශෛලිය පිළිබඳ රුවන් තරස්වින්ගේ අදහස වන්නේ ”මම කාටුනයක් වැඩිය හැඩගන්වන්න උත්සාහ ගන්නේ නැහැ. ඉතාමත් සරලව ක්‍ෂණිකව පාඨකයාට ග‍්‍රහණය කරගත හැකි අයුරින් කාටුන නිම කිරීම මාගේ අරමුණයි.”

සරල රීතියක් ඔස්සේ ගොඩනැඟී ඇති ඔහුගේ කාටුන් තුළ වූ අන්තර්ගතය පිටු ගණනාවක ලිපියක් ලිවිය හැකි තරම් වේ. රුවන් තරස්වින් මෙරට සිටින ජාත්‍යන්තර මට්ටමේ කාටුන් ශිල්පියෙකි. ලෝක අවධානයට යොමු වූ සිද්ධීන් බොහෝ විට ඔහුගේ කාටුන් සඳහා වස්තු වී ඇත. ඔහුගේ කාටුන් ශෛලිය ගොඩනැඟී ඇත්තේ කාලාන්තරයක් පුරා ගොනු කර ගත් අත්දැකීම් සම්භාරයක් තුළිනි. දේශපාලන සංසිද්ධීන් කෙරෙහි පමණක් නොව විවිධ තේමාවන් යටතේ ඔහු කාටුන් නිර්මාණය කරන ආකාරයක් දැකගත හැකිවේ.

ශ‍්‍රී ලංකාවේ වර්තමාන දේශපාලන කාටුන් කලාවේ ප‍්‍රමුඛතම කාටුන් ශිල්පියකු ලෙස ඔහු හැඳින්විය හැකිය. සතුට පුවත්පතට චිත‍්‍ර කතාව ඇඳ අවසන්වූ පසු ”පොකට්” කාටුන් කලාවට යොමු වූ තරස්වින් මුලින්ම සතුට පුවත්පතට පොකට් කාටුනයක් නිර්මාණය කරන ලදී. මුලින්ම ලේක්හවුස් ප‍්‍රකාශන සඳහා මුල් කාලීනව ඔහු විසින්ම නිර්මාණය කෙරුණේ දේශපාලන කාටුන නොව සමාජයේ යම් යම් සිදුවීම් ඇසුරෙන් අඳින ලද කාටුන් චිත‍්‍රයන්ය. තරුණි පුවත්පතේ කාටුන් ශිල්පියා වශයෙන් කටයුතු කරන තරස්වින් මහතා ”Daily News” පුවත්පතේ විදෙස් පුවත් පිටුව සඳහා දේශපාලන කාටුන් නිර්මාණය කරනුයේ ඉන් අනතුරුවය. අනතුරුව ”Daily News” පුවත්පතට අඳින ලද කාටුන් සමාජයේ කතා බහට ලක්වීමත් සමඟ එහි ප‍්‍රතිඵලයක් ලෙස ‘යොවුන් ජනතා’ පුවත්පතේ විදෙස් පිටුවට දේශපාලන කාටුන් නිර්මාණය කිරීමට අවස්ථාව ලැබේ.

දිනමිණ පුවත්පතට සම්බන්ධවීමත් සමග පූර්ණකාලීන කාටුන් ශිල්පියකු වශයෙන් කටයුතු කරන තරස්වින් මහතා ළමා කතා සඳහාද චිත‍්‍ර අඳින ලදී. 70 දශකයේ අග භාගයේ සිට 80 දශකය මුල දක්වා මිහිර පුවත්පත සඳහා චිත‍්‍ර නිර්මාණය කිරීමෙන් ළමා චිත‍්‍ර ඇඳීමට අවශ්‍ය පන්නර ලබා ගත්තේය. කාටුන් කලාවට යොමු වීමත් සමඟ ළමා චිත‍්‍ර ඇඳීමෙන් ඈත් වූ ඔහු සම්පූර්ණ දායකත්වය කාටුන් මාධ්‍යය වෙත ලබාදෙන ලදී. චිත‍්‍ර ඇඳීමට හැකියාව තිබූ පමණින් කාටුන් ශිල්පියකු නොවන බව තරස්වින්ගේ අදහසයි. කාටුන් ශිල්පියකුට සමාජ  සිද්ධි පිළිබඳව පුළුල්ව සිතා බැලීමට හැකි බුද්ධියක් මෙන්ම එම සිද්ධීන් විනිවිද දැකීමට හැකියාවක් තිබිය යුතු බව ඔහුගේ පිළිගැනීමයි.

රුවන් තරස්වින් කාටුන් ශිල්පියකු ලෙස ප‍්‍රචලිත වූයේ දේශපාලන කාටුන් කලාවට යොමු වීමේ ප‍්‍රතිඵලයක් වශයෙනි. පුවත්පත් කාටුන් කලාව සමාජ මෙහෙවර සඳහා යොදාගත හැකි නිර්මාණාත්මක සන්නිවේදන මෙවලමක් ලෙස සළකන තරස්වින් කාටුන් නිර්මාණයේදී තමන්ගේ සීමාව උපරිමයට යාමේදී පරිකල්පනය ඉතා වැදගත් බව පෙන්වා දෙයි. කාටුන් ශිල්පියාගේ නිර්මාණ නිදහස පොදුවේ ගත් විට පුවත්පත් නිදහස හා එකට බැඳී පවතී. රටේ පවතින නිදහසත් තමන් සේවය කරන පුවත්පත් ආයතනයේ ලැබෙන නිදහසත් කාටුන් නිර්මාණය සඳහා වැඳගත් වන බව ඔහුගේ අදහසයි. ස්වයං වාරණයකින් යුතුව කාටුන් ශිල්පීන් තම මාධ්‍ය හැසිරීම වගකීමක් ලෙසටද ඔහු සලකනු ලැබේ.

පුවත්පත් කාටුන් ශිල්පියකුට ප‍්‍රබල සමාජ, දේශපාලනික ඥනයක් තිබිය යුතු වන අතර ඔවුන් දේශීය මෙන්ම විදේශීයව සිදුවන දේශපාලන කි‍්‍රයාදාමයන් කෙරෙහි අවධානයෙන් සිටීම ඔහුගේ කාටුන් නිර්මාණ අන්තර්ජාතිකව පවා ප‍්‍රචලිත වීමටත් ජනපි‍්‍රය වීමටත් හේතු වී ඇත. හාස්‍ය උපහාසය මුසු වූ කාටුන් නිර්මාණය කිරීමට කාටුන් ශිල්පීන්ට හැකියාව තිබිය යුතු බව තරස්වින් මහතා ප‍්‍රකාශ කරයි. මාධ්‍යවේදීන් අතර කාටුන් ශිල්පියා සුවිශේෂ පුද්ගලයකු වන්නේ ඒ හේතුවෙනි.

විදේශ සිදුවීම් මුල් කර ගනිමින් වැඩිවශයෙන් කාටුන් නිර්මාණය කරන  රුවන් තරස්වින් කාටුන් ශිල්පියා ශී‍්‍ර ලංකාවේ කාටුන් ශිල්පීන් එ් කෙරෙහි අඩු අවදානයක් දක්වන බැවින් ඔහු ඒ ‍‍ෙක්‍ෂ්ත‍්‍රය කෙරෙහි යොමු වී කාටුන් අඳිනු ලැබේ. තරස්වින් කාටුන් ශිල්පියාගේ කාටුන් ශෛලිය ඔහුටම ආවේණික වූවක් බව වෙනත් කාටුන් ශිල්පීන් හා සැසදීමේදී දැක ගත හැකිවේ. එකම ඉරකින් නිමවන මෙම කාටුන්හි විවිධ ආටෝපයන් දැකිය නොහැකිය. සරල රීතියක් ඔස්සේ ගොඩනැංවී ඇති ඔහුගේ කාටුන් ජාත්‍යන්තර සම්මානයටද ලක්වී ඇත.

ජාත්‍යන්තරය තුළදී කාටුන්හි වචන භාවිතය අවම බවක් දක්නට ලැබේ. එහිදී යුද්ධය වැනි සිද්ධින් කාටුන් ශිල්පීන්ට රසවත් ආහාරයක් වන බව තරස්වින් මහතාගේ අදහසයි. ඔහුගේ කාටුන් රේඛාවන් අනෙකුත් කාටුන්හි රේඛාවන්ට වඩා වෙනස්ය. එ්වා තමන්ට අවශ්‍ය පරිදි නිදහසේ ගමන් කරනු ලැබේ. සීමා මායිම් නොමැතිව රේඛාවට නව ජීවයක් ලබාදීමට ඔහු කටයුතු කර ඇත. මෙම රේඛා පරිහරණය පිළිබඳව අදහස් දක්වමින් ඔහු ප‍්‍රකාශ කරන්නේ

”මා කිසිවිටක රේඛා ඇඳ මකන්නේ නැහැ. මගේ හිතට හරියන ලාලිත්‍ය එනකම් මා එය අභ්‍යාස කරනවා. අභ්‍යාස කරනවා යැයි කිව්වට එ්ක වෙන්නේ රේඛා අඳින ඇදිල්ලටමයි. ඒ මිසක් වේලපහ අමුතුවෙන් කරන පුහුණුවක් නෙවෙයි.”

විදේශ විත්ති වෙනුවෙන් ඬේලි නිවුස් පුවත්පතට නිර්මාණය කරන ලද කාටුන් කිහිපයක් ‘වර්ල්ඞ් ප්‍රෙස් රිවීව්’ නම් සඟරාවේ පළ වී ඇත. එහි පළ වන්නේ ලෝක අවධානයට යොමු වූ පුවත් සඳහා නිර්මාණය කරන ලද කාටුන්ය. ඬේලි නිවුස් පුවත්පතේ කාටුන් ශල්පියා ලෙස කටයුතු කළ රුවන් තරස්වින් තම කාටුන් අන්තර්ගතයේ සරල තේමාවන් තුළන් ගැඹුරු සංකල්පයක් මවා ඇත.

වර්තමානය වන විට දිනමිණ පුවත්පතේ කාටුන් ශිල්පියා ලෙස කටයුතු කරන ඔහුගේ කාටුන් ”එන්ටි වික් ලූන්ග්ස් පොලිටික්” (Entwicklungs politik) නමැති දේශපාලන වර්ධනය යන අරුත් ඇති සඟරාව සඳහා ‘ලෝකය දකුණට පෙනෙන්නේ කෙසේද? ඔවුන් උතුරට කියන්නේ කුමක්ද?’ යන්න පිළිබඳව ‘පර්මීන් ප්‍රොටෙස්ටන් නිවුස් එ්ජන්සිය’ මඟින් පැවැත්වූ තරඟයෙන් තෝරාගත් කාටුන් 15 අතුරින් හොඳම කාටුන් 5 අතරට රුවන් තරස්වින් ශිල්පියාගේ කාටුනයක් අයත්වීම සුවිශේෂී අවස්ථාවකි.

මෙම කාටුනය තුළ අන්තර්ගත වී තිබුණේ වර්තමාන ලෝකය ගමන් කරන විනාශකාරී බලවේග පිළිබඳවය. ඔහු තම කාටුනය තුළ උතුරු ලෝකය ධනවත් බලවත් ප‍්‍රභූවරයෙක් ලෙස නිරූපණය කිරීමට උතුරු ලෝකයේ මිනිස් රූපය විශාලව ඇඳ ඇත. ධනවත් බව නිසාම එම රටවල් අන්ධ වී ඇති ආකරය නිරූපණය කිරීමට සුදු සැරයටියක් දරා සිටින ලෙස නිර්මාණය කර ඇත. එහි එක් අතක ඩොයිෂ් මාර්ක් , පවුම් , ඩොලර් ආදී මුදල් රැඳී ඇත. ඔහු ගමන් කරන මාර්ගය කොටස් දෙකකට බෙදී ඇත. එක් මාර්ගයක යුද්ධය දක්නට ඇත. ඊට අමතරව අවි ආයුධ, මිනි ඔලූ, ඇටකටු හා මත්කුඩු දක්නට ලැබේ.



අනෙක් මාර්ගය සාමය සහිත පාරකි. මල් පිපුණු, පරවියන් සිටින, සාමකාමී මාර්ගයක් එහි ඇත. එම මාර්ගයේ සරමක් ඇඳගත් කුඩා මිනිසෙක් සිටින අතර එය සංකේතවත් කරනු ලබන්නේ දකුණු ලෝකයයි. ඔවුන් තුළ ඇති දුප්පත් බව සංකේතවත් කිරීම සඳහා සරම සංකේත නිරූපණයක් ලෙස දක්වා ඇත. කුඩා මිනිසා උතුරු ලෝකයේ මිනිසාගේ සැරයටියෙන් අල්ලාගෙන සාමය මාවතේ සිටි කුඩා මිනිසා ප‍්‍රභූවරයාට ආරාධනා කරනු ලබන්නේ මේ පාරෙන් යන්න එන්න, මේ ඔබේ මාවතයි. ඒ තමයි සාමයේ මාවත. දකුණු ලෝකයේ කුඩා මිනිසා උතුරු ලෝකයේ ප‍්‍රභූවරයාට ආරාධනා කරන්නේ සාමය පිළිගන්නා ලෙසටයි.

මෙම කාටුනය හරහා කාටුන් ශිල්පියා සන්නිවේදනය කිරීමට උත්සාහ දරා ඇත්තේ සාමය ඉබේ ඇතිවන්නක් නොව සාමය ගොඩනඟා ගත යුත්තේ මිනිසා විසින්ම බවයි. එය දකුණේ මිනිසා උතුරු මිනිසාට දෙන ආදර්ශයයි.

මෙම කාටුනය හරහා කාටුන් ශිල්පියා සන්නිවේදනය කරනු ලබන දෙය හා මෙහි සංකල්පය මනා ලෙස නිරූපණය කොට ඇත. එ් සඳහා තරස්වින් යොදා ගෙන ඇති සංකේතම අදහස ගැන පිළිඹිඹු කිරීමටත් පාඨකයාට සන්නිවේදනය කිරීමටත් මනා ලෙස ගැලපෙන බව පෙනේ. මෙම කාටුනය හරහා වර්තමාන ලොකය ගමන් කරන විනාශකාරී බලවේගයන් පිළිබඳව නිරූපණය කොට ඇත.


0 comments:

:a: :b: :c: :d: :e: :f: :g: :h: :i: :j: :k: :l: :m: :n:

Post a Comment