Thursday, February 28, 2013

දාස හපුවලාන




වත්මන් සකලවිධ නිර්ධන මිනිස් පරපුරේම හඬ සුවාරිස් චරිතය හරහා පාඨකයා වෙතත් පාලකයා වෙතත් රැගෙන යන සුවාරිස් කාටුනය තුළින් දේශපාලන ක්ෂේත‍්‍රයේ දූෂණ, වංචා, අසාධාරණකම් හමුවේ බැටකන සාමාන්‍ය ජනතාවගේ නියෝජනයක් ලෙස ඉදිරිපත් කිරීමට තරම් දාස හපුවලාන කාටුන් ශිල්පියාගේ කාටුන්හි ඔහුටම ආවේණික වූ ශෛලියක් දැකගත හැකි වේ. කාලයෙන් කාලයට පාලකයන් මාරු වී ගියත් ආණ්ඩු පෙරලී ගියද සමාජයේ තැලී පොඩිවී යන මේ කෙසඟ වූ ශරීරයක් ඇති මිනිසාට පණ පොවන දාස හපුවලාන කාටුන් ශිල්පියා දේශපාලන කාටුන් කලාවේ අයුක්තිය අසාධාරණයේදී සුවාරිස් ලවා හාස්‍ය උපහාසය මුසුව පහර දෙනු ලබයි.

1981 ‘රිවිරැස’ පුවත්පත තුළින් පුවත්පත් කලාවට පිවිසි දාස හපුවලානයන් ‘දවස’ පුවත්පත් ආයතනයේ රෝහණ ගමගේ මහතාට තමන් නිර්මාණය කරන ලද කාටුන් චිත‍්‍රයක් පෙන්වීමෙන් පසු දවස පුවත්පතේ කාටුන් ශිල්පියා වශයෙන් කටයුතු කරන ලෙස ආරාධනා කරන ලදි. මෙම කාල වකවානුව ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ පාලන සමය වූ බැවින් දාස හපුවලානයන්ගේ පළමු කාටුනය බවට පත් වූයේ ද ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාට අඳිනු ලැබූ කාටුනයකි.

වයස අවුරුදු 19 පමණ වන විට කාටුන් කලාවට පිවිසි දාස හපුවලාන කාටුන් ශිල්පියා චිත‍්‍ර කලාවට දස්කම් දැක්වුවද කාටුන් ක්ෂේත‍්‍රයට පැමිණීමට විශේෂ අධිෂ්ඨානයක් නොතිබුණි. එහෙත් ඔහුටම ආවේණික වූ ශෛලියක් කුඩා කාලයේ කුරුටු බලි ගාමින් කටු චිත‍්‍ර ඇඳි අවදියේ සිට පෝෂණය විය. දවස පුවත්පත වසා දැමීමත් සමඟ 1990 වර්ෂයේ දී ලංකාදීප පුවත්පතට සම්බන්ධ විය. එහි ටික කාලයක් සේවය කළ ඔහු එයින් ඉවත් වී ලක්බිම පුවත්පතට ද දේශපාලන කාටුන් චිත‍්‍ර නිර්මාණය කරන්නට විය. ඉන් අනතුරුව දිවයින පුවත්පතේ කාටුන් ශිල්පියා වශයෙන් ද කටයුතු කළ ඔහු නැවත ලංකාදීප පුවත්පතේ කාටුන් ශිල්පියා වශයෙන් වර්තමානයේ ද දේශපාලන කාටුන් ශිල්පියෙකු වශයෙන් කටයුතු කරනු ලැබේ. ප‍්‍රධාන දේශපාලන කාටුනය සහ සුවාරිස් කාටුනය ලංකාදීප පුවත්පතට නිර්මාණය කරනු ලබන දාස හපුවලානයන්ගේ කාටුන් තුළ ගැඹුරක් දැකගත හැකිය. ශ‍්‍රී ලංකාවේ දේශපාලන කරළියේ බොහෝ දේශපාලනඥයින් කාටුන් චරිතයන්ට නිර්මාණය කිරීමේ පුරෝගාමීත්වය ඔහුට හිමි වේ.

කාටුන් භාෂාව වර්ධනය කර ගැනීම තුළින් කාටුන් මාධ්‍ය පාඨකයා අතරට ගෙන යාම පහසුවක් වන බව සලකන දාස හපුවලානයන් පාඨකයාට පහසුවෙන් තේරුම් ගත හැකි නිර්මාණාත්මක සංකේත වැඩි වශයෙන් බිහි කිරීමත් සමඟම කාටුන් භාෂාව ද පෝෂණය කරගත හැකි බව විශ්වාස කරනු ලැබේ. කාටුන් ශිල්පියා පාඨකයා සමඟ කතා කරනුයේ වචන වලින් නොව සංකේත භාවිතයෙන්ය.

සැබෑ කාටුන් ශිල්පියා ජීවත් වන්නේ පොදු ජනතාව සමඟයි. අසාධාරණකම්, දූෂණ වංචාවන්ට ලක්ව දුක්ඛ දෝමනස්සයන්ගෙන් පීඩා විඳින පාඨකයාගේ වේදනාවට සංවේදී විය යුතුය යන්න ඔහු කාටුන් නිර්මාණයට පෙර සිතා බලන දෙයකි. අයහපත් මෙන්ම අසාධාරණ දෙයට පහර දීමටත් යහපත් සාධාරණ දේ අගය කරමිනුත් ඔහු දේශපාලන කාටුන් නිර්මාණකරණයේ නිරත වේ.

‘කාටුනයක් නිර්මාණය කරන විට මෙම සමකාලීනව තිබෙන වැදගත් මාතෘකාවකටයි යොමු වෙන්නේ. කාටුනයක් නිර්මාණය කිරීමේ දී සිනහව, උපහාසය, විහිළුව කියන කරුණු වැදගත් කියලා මට හිතෙනවා. නමුත් මෙම කරුණු තුනම එකට එක් කරන්න අමාරුයි.’ යනුවෙන් පවසන දාස හපුවලානයන් සෑම විට තම දේශපාලන කාටුන් වචන භාවිතයෙන් තොරව නිර්මාණය කිරීමට උත්සහ ගනී. ඔහුගේ දේශපාලන කාටුන් අධ්‍යයනය කිරීම එ් බව පැහැදිලි කර ගත හැකිය. ඔහුගේ කාටුන් තුළ වචන භාවිතා කර ඇත්තේ අවම වශයෙනි. රූපයෙන් පමණක් අදහසක් ප‍්‍රකාශ කළ නොහැකි අවස්ථාවන් හීදී පමණක් වචන භාවිතා කරමින් කාටුන් නිර්මාණය කරනු ලබන බව දක්නට ලැබේ.

දේශපාලන ප‍්‍රශ්න හාස්‍යයට ලක් කිරීම විනා කිසිවකුට පෞද්ගලිකව පහර ගැසීම ඔහුගේ කාටුනයේ අරමුණ නොවේ. දේශපාලන සංසිද්ධියක් සංක්ෂිප්තව ප‍්‍රකාශ කිරීමට ජනතාව හොඳින් හඳුනන සංකේත භාවිතා කිරීමට කාටුන් ශිල්පියා පෙළඹේ. එම සංකේතයන් අදාල සිද්ධිය හෝ දේශපාලන චරිතය හඳුනා ගැනීමට යොදා ගනී. ණයක් සංකේතවත් කිරීමට පාත‍්‍රයක් වැනි සංකේත යොදා ගන්නා ලද අතර වත්මන් දේශපාලන කරළියේ ප‍්‍රබල දේශපාලන චරිතයක් වූ විමල් වීරවංශ මහතා කාටුන් චිත‍්‍රයක් හරහා දැක්වීමේ දී එම චරිතය සමඟ වැඩි කතාබහට ලක් වූ ජංගම දුරකථන දෙකක් සටහන් කිරීම වැනි සංකේත මඟින් පාඨකයාට එක් වරම දේශපාලන චරිතය හඳුනාගැනීමට හැකියාව ලැබේ.

කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා කාටුන් කලාවට හඳුන්වා දෙන ලද්දේ දාස හපුවලානයන් විසිනි. රෙදි අපුල්ලන්නෙක් ලෙස නිර්මාණය කොට ඇති මෙම චරිතය වර්තමානයේ එතුමා දරන අමාත්‍යාංශයට ගැළපෙන ලෙස සංකේත නිර්මාණය කොටගෙන ඇත. බන්දුල ගුණවර්ධන මහතා වෙළෙඳ අමාත්‍යවරයාව සිටි අවදියේ ඔහුව කාටුන් චරිතයට නඟන ලද්දේ ධන සෘණ වශයෙනි. ‘මිස්ටර් ධන සෘණ ’ චිත‍්‍රපටය පැමිණි අවදියේ එය ඇසුරු කොට ගෙන එම චරිත නිර්මාණය කොට ඇත. වර්තමානය වන විට අමාත්‍ය කරු ජයසූරිය මහතාගේ රූපය සමඟ කරුවක් යොදා ගැනීමෙන් එතුමා සංකේතවත් කරනු ලැබේ. වර්තමානයේ දී සජිත් පේ‍්‍රමදාස අමාත්‍යවරයා සංකේතවත් කිරීමට බංකුවක් යොදා ගන්නා ලදි. මෙවැනි දේශපාලන කාටුන් නිර්මාණය කිරීමේ දී වචන භාවිතයෙන් තොරව කාටුනයේ අදහස සන්නිවේදනය කිරීමට ඔහුට ආවේණික සංකේතයන් නිර්මාණය කර ගන්නා ලදි.

තීරු කාටුනයක් වශයෙන් ඔහු විසින් නිර්මාණය කරන ලද සුවාරිස් කාටුනය සඳහා ඔහු දෙබස් යොදා ගන්නා ආකාරයත් සංවාදශීලී ස්වභාවයකින් නිර්මාණය කරන ආකාරයත් දැකගත හැකිය. හපුවලාන කාටුන් ශිල්පියාගේ කාටුන් මඟින් ජනමතය වෙනස් කිරීමට තරම් ප‍්‍රබල වූ කාටුන් නිර්මාණයන් ද දැකගත හැකිය.

දේශපාලන කාටුන් නිර්මාණය කිරීමේ දී දේශපාලන සංසිද්ධීන් පිළිබඳවත් අතීත සිදුවීම් පිළිබඳවත් කාටුන් ශිල්පියාට මනා අවබෝධයක් තිබිය යුතු බවද ඔහුගේ අදහසයි. ‘‘කාටුනය රටක ජනතාවට බලපාන යම් සිදුවීමක් ඉතා සංක්ෂිප්තව ජනතාවට කා වදින අයුරින් ඉදිරිපත් කළ යුතුය. උපහාසාත්මක බව කාටුනයට ආවේණික ලක්ෂණයකි. එම හාස්‍ය උපහාසය තුළින් වැඳගත් පණිවුඩයක් ද ලබා දෙනවා.’’ යනු ඔහුගේ අදහසයි.

බලය, දූෂණය අසාධාරණය තුළ වර්තමානය වන විට කාටුනය හරහා සමාජයට වැරදි අදහස් ද සන්නිවේදනය වෙමින් පවතින බැවින් කාටුන් ශිල්පීන් සාමාන්‍ය ජනතාවට නිවැරදි දේ පමණක් කාටුනය තුළින් නිරූපණය කළ යුතුය යන වැඳගත් මතය ද කාටුන් ශිල්පීන්ගේ වගකීමක් බව දාස හපුවලාන කාටුන් ශිල්පියාගේ අදහසයි. යම් යම් වැරදි අදහස් කාටුනය මඟින් සන්නිවේදනය කිරීම පාඨකයාට කාටුනය හරහා ප‍්‍රකාශ වන පණිවුඩය තේරුම් ගැනීමට නොහැකිව අපහසුතාවයට පත් වන අතර එම කාටුන් මඟින් ජනතාව දුරස්ථ වන බවද දක්වයි.

දාස හපුවලානයන් තම කාටුන් නිර්මාණය කිරීමේ දී ඔහුටම ආවේණික සංකේත, හැඩතල, රේඛා, යොදා ගනිමින් දේශපාලන කාටුනය ඔහුගේම ශෛලියකට අනූව නිර්මාණය කරනු ලැබේ. බොහෝ විට සාමාන්‍ය ජනතාව අතර ජනප‍්‍රිය ජනකතා කාටුනය සඳහා ආදේශ කොට ගනී. ඔහුගේ කාටුන් දුප්පත් ජනතාව වෙනුවෙන් ඔවුන්ගේ සිතුම් පැතුම් නිරූපණය කරන්නක් බැවින් ඔවුන්ට සමීප මාධ්‍ය යොදා ගනිමින් පාඨකයාට පහසුවෙන් ළඟා විය හැකි ආකාරයට කාටුන් නිර්මාණය කරනු ලැබේ. සමාජයේ ප‍්‍රසිද්ධ ජන කතාවන් ආශ‍්‍රය කොට ගෙන අදාල දේශපාලන සංසිද්ධියට ගැළපෙන පරිදි කාටුන් නිර්මාණය කිරීම මඟින් කාටුනයෙන් සන්නිවේදනය වන සිද්ධිය සාක්ෂරතාවයක් නොමැති ජනතාව අතරට ද පණිවුඩය ගෙන යාමට ඉන් හැකියාව ලැබේ. එම හේතුවෙන් දාස හපුවලානයන්ගේ කාටුන් චිත‍්‍රයන් සමාජයේ සියලූ දෙනා අතරම ප‍්‍රසිද්ධය.

ජාත්‍යන්තර ප‍්‍රමිතීන්ට අනූව දේශපාලන කාටුනයක් සඳහා පිළිගත් මතය වන්නේ වචන භාවිතා නොකර රූපය මඟින් පමණක් අදහස අර්ථාන්විතව පාඨකයා වෙත සන්නිවේදනය කිරීමයි. එම සම්මතයට යටත්ව ශ‍්‍රී ලංකාවේ දේශපාලන කාටුන් නිර්මාණයේ නිරත වන්නා වූ කාටුන් ශිල්පියෙකු ලෙස දාස හපුවලානයන් පෙන්වා දිය හැකිය.

මාධ්‍ය නිදහස පිළිබඳව අඳිනු ලැබූ කාටූනයක්

දාස හපුවලානයන්ගේ කාටුන් හේතුවෙන් මැතිවරණයට තරඟ කිරීමට පෙළඹුණු දේශපාලන චරිතයන් ශ‍්‍රී ලංකාවේ දේශපාලන ක්ෂේත‍්‍රය තුළ සිටී. ඒ වෙනකෙකු නොව රන්ජන් රාමනායක මහතාය. සබරගමු මහ ඇමති අපේක්ෂකත්වය ඔහු තරඟ වදිනුයේ දාස හපුවලානයන්ගේ දේශපාලන කාටුනයක් නිසාවෙනි.

විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා යාචක පිරිසක් සිටින තැනකට ගොස් සබරගමු මහ ඇමති අපේක්ෂකත්වය භාර ගන්නා ලෙස ඉල්ලා සිටී. සබරගමු මහ ඇමති අපේක්ෂකත්වය පිළිබඳ ගැටළුවක් ඒ වන විට පැන නැඟී තිබුණු අතර දාස හපුවලානයන් විසින් විපක්ෂ නායකත්වය විසින් මහ ඇමති අපේක්ෂකත්වය ලබා දීමට හිඟමන් යැදීම විහිළුවක් බවට පත් විය. විපක්ෂ නායකත්වයට කරන ලද අපහාසයක් ලෙස මෙම කාටුනය සැලකූ රන්ජන් රාමනායක මහතා මහ ඇමති ධූරයට තරඟ වදින්නේ ඉන් අනතුරුවය. ඔහු ප‍්‍රකාශ කර සිටින්නේ ඡුන්දය ඉල්ලීමට ශක්තිය ගෙන දුන්නේ දාස හපුවලාන කාටුන් ශිල්පියාගේ කාටුනය බවයි.

සමාජයේ විවිධ වූ ක්ෂේත‍්‍රයන් තුළ සැරිසරන කාටුන් ශිල්පීන් වර්තමානයේ දේශපාලන කාටුන් නිර්මාණය සඳහා වැඩි ප‍්‍රවණතාවයක් දක්වන බව පෙනේ. දේශපාලන කරළියේ සිදුවන විවිධ වූ සිදුවීම් හාස්‍ය උපහාසය මුසු කොට ගනිමින් පාඨකයා වෙත ඉදිරිපත් කරනු ලැබේ. දේශපාලන කාටුන් ක්ෂේත‍්‍රයේ ගැඹුර ව්‍යාප්ත කරමින් නිර්මාණය කරනු ලබන කාටුන් අතර දාස හපුවලාන කාටුන් ශිල්පියාගේ කාටුන් පෙන්වා දිය හැකිය.




0 comments:

:a: :b: :c: :d: :e: :f: :g: :h: :i: :j: :k: :l: :m: :n:

Post a Comment